ජාතියක් ණය ගැති කන්නන්ගර දෙයියෝ

Share

මට හීනෙන් වගේ පේනවා මම මහා විසාල පොල් වත්තක පොල් කඩනවා.අපේ අම්මලා තාත්තලා අයියලා අක්කලා,මම වගේ තව කොල්ලෝ කුරුට්ටෝ මගේ වගේ තව අම්මලා තාත්තලා මේ පොල් වත්තේ වැඩ කරනවා,දර පලනවා,හරක් බලනවා,තණකොල කපනවා,උදළු ගානවා

ඝනකම පොල් මුඩු දෙකක් වගේ තියෙන අලුපාට රැවුල් ගස් කරකෝ කරකෝ හාමු මහත්තයා වත්ත දිහා ඔරෝගෙන බලාගෙන ඉන්නවා.වළව්වේ බල්ලා හාමුගේ ඇඳිපුටුව යට ඉඳන් අපි දිහා බලන් ඉන්නවා.ඌත් අපිට ඔරෝනවා.”හාමුගේ රැස්පොට් අරගෙනද කොහෙද” මට හිතෙනවා.වළව්වේ ගස් ඉඳන් අපි දිහා ඔරවන් ඉන්නවා කියලා මට හිතෙනවා.

දහවලේ වැඩ කොරලා කොරලා හාමත් වෙලා ඉන්නකොට ලොකු හාමිනේ වළව්ව මැද්දෙන් මැතු වෙනවා.හාමිනේට වළව්වේ මහ විසාල උළුවස්සෙන් එන්න බැරි තරම් මහතයි නේද කියලා මට හිතෙනවා.හාමිනෙත් වත්ත දිහා ඔරවගෙන කෑමොරතියනවා “කන එවන් පිලිකන්නෙන් වරෙව්!”.අපි ඔක්කෝම ඔලුවේ බැඳපු ජටාව ගලවගෙන වකුටු වෙලා,දෙකට නැමිලා,ඔලුව නමාගෙන,බිමබලාගෙන පිලිකන්නෙන් කුස්සියට යනවා.

පුංචි හාමු බක්කි කරත්තෙන් ඉස්කෝලේ ගිහින් එනවා.පුංචි හාමුලට කාසි පනම් තියෙන නිසා ඉස්කෝලේ යතෑකි,අපිට කොයින්ද ඒ වාසනාව කියලා මට හිතෙනවා,කුස්සියේ පිලිකන්නේ තියපු මිටි බංකුවේ වාඩි වෙලා බත් කන්න ලෑස්ති වෙනවා.

ඒ හීනේ මැදින් දෙයියෙක් මතු වෙනවා,අහසින් පාත් වෙනවා,පිලිකන්නට පාත් වෙනවා,රවුම් කණ්නාඩි දෙකක් දාපු,අරිය සිංහල සූට් එක ඇඳපු දෙයියෙක්.එයා එන්නේ තරහින් වගේ.නවත්තපියව් මේ අසාධාරණේ ඒ දෙයියා කෑගහනවා.තොපි ඔය වහල්කම් කලා ඇති දැන් පලයව් ඉස්කෝලේ! වේවැලක් අතට අරන් එතුමා අපේ පස්සේ පන්නනවා.අපි රොත්තම ඉස්කෝලෙට දුවනවා.

මම හීනෙන් ඇහැරුණා.මම හීනෙන් දැක්ක ඒ දෙවියා කන්නන්ගර මහත්තයා.කන්නන්ගර මහත්තයට පිං සිද්ධ වෙන්න මට අකුරු ලියන්න පුලුවන්,කියවන්න පුලුවන්.මගේ අයිතීන් වෙනුවෙනුත් වෙන උන්ගේ අයිතීන් වෙනුවෙනුත් කතා කරන්න පුලුවන්.අපිට එහෙම අයිතියක් තියෙනවා කියලා හරි දැනගන්න පුලුවන්.හාමුලා ඉස්සරහ ඔලුව නොනමා වකුටු නොවී ඉන්න පුලුවන්.කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන්!

ලංකාවේ වංශවත්ම මිනිස්සු ඇවිදපු,ආව ගිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කොරිඩෝ දිගේ පුංචිම පුංචි මිනිහෙක් විදිහට ඇවිදන් යනකොට මට දෙවි වරු තුන්දෙනෙක් පේනවා.අපේ පරම්පරාවල් පිටින් වළව්වේ හාමුලගෙන් නිදහස් කරල කොන්ද කෙලින් කරපු කන්නන්ගර දෙයියොයි.නොකා නොබී දුක් විඳ විඳ මාව ඒ පාරේ යවපු අම්මවයි තාත්තවයි!

වළව්වේ හාමුලට අපි බයත් නෑ.
ණයත් නෑ.
කන්නන්ගර මහත්තයට ජාති ජාතිත් ණයයි….
ඒ නිසා මම අත්දෙක එකතු කරලා වළව්වට පස්ස හරවලා කන්නංගර දෙයියන්ට බුදුන් වඳින දෑතින් වඳිනවා….

සටහන නීතිවේදී නිරාශාන් විතානගේ

Leave A Reply