ෆේස්බුක් නම වෙනස් වෙයි – සකර්බග් තීරණය කරයි

Share

මේ වන විට ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගම සිය නාමය වෙනස් කිරීමට සූදානම් වන බවට වාර්තා වනවා.

කෙසේවෙතත් නව නාමය කුමක්ද යන්න මේ දක්වා අනාවරණය වී නැහැ.

ලබන 28 වනදා පැවැත්වෙන සමාගමේ වාර්ෂික සමුලුවේදී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් එය නිල වශයෙන් එළි දක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්ස්ටග්‍රම් – වට්ස්ඇප් සහ ෆේස්බුක් ඇතුලු සමාජ ජාල කිහිපයක හිමිකාරීත්වය ඇත්තේ එකම සමාගමකටයි.

පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය නිසි පරිදි ආරක්ෂා නොකිරීමත් වරින්වර සේවා බිඳ වැටීමත් හමුවේ පසුගිය සතියේදී ඔවුන්ගේ කොටස් වෙළඳපොළ වටිනාකමද කැපී පෙනෙන ලෙස පහළ ගියා.

මේ අතර ෆේස්බුක් සමාගමේ සමාජ ජාල අඩවි සහ දුරකථන යෙදවුම් දරුවන්ට හානිදායක බවත් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන බවත් එහි හිටපු සේවිකාවක් වන ෆ්‍රැන්සිස් හෝගන් පසුගිය දා කියා සිටියා.

ඒ අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුකමිටුවක් ඉදිරියේ වාචික සාක්ෂි ලබාදෙමින්.

ෆේස්බුක් හි සමාජ ජාල මගින් තරුණ පරිශීලකයන්ට ඇතිවන ගැටලු සහ වෙනත් ගැටලු සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් සභාවේ වාණිජ අනුකමිටුවක් එහි හිටපු සේවිකාවක වන ෆ්‍රැන්සිස් හෝගන්ගෙන් ප්‍රශ්න කර තිබුණා.

කමිටුව හමුවේ වාචික සාක්ෂි ලබාදෙමින් හෝගන් වැඩිදුරටත් පවසා තිබුණේ, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වඩා ආරක්ෂිත සමාජ ජාල බවට පත් කරන්නේ කෙසේද යන්න එහි නායකත්වය දන්නා නමුත් එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගන්නේ ජනතාවට පෙර සිය අතිවිශාල ලාභය ගැන සලකාබලමින් බවයි.

එම ගැටලුව විසඳීමට අමෙරිකානු කොංග්‍රසයේ මැදිහත්වීම අවශ්‍ය බවත් ඇය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෑතකදී සිදුකළ මාධ්‍ය ආවරණ මගින් සිය සමාගම පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මවා ඇති බවයි.

Leave A Reply